දකුණු ඉන්දියානු බ්‍රාහ්මීන්ගේ ශ්‍රී ලාංකීකරණය

Home / දකුණු ඉන්දියානු බ්‍රාහ්මීන්ගේ ශ්‍රී ලාංකීකරණය

දකුණු ඉන්දියානු බ්‍රාහ්මීන්ගේ ශ්‍රී ලාංකීකරණය

සත් කෝරළේ සහ කන්ද උඩරට සංක්‍රමණය

මෙම පොත පිළිබඳව වැඩි විස්තර
  • මෙම පොත කුමක් පිළිබඳද?
  • පටුන
  • පාඨකයින් කියන්නේ කුමක්ද?
  • කතුවරයා ගැන
මෙම පොත කුමක් පිළිබඳද?
මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ දකුණු ඉන්දියානු ජන කණ්ඩායම් පිළිබඳ ව නව සහ මත භේදයට තුඩු දිය හැකි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. ඒවා සාම්ප්‍රදායික ඓතිහාසික වාර්තාවලට පටහැනි බව ද කිව යුතු ය. මෙම ග්‍රන්ථයේ කේන්ද්‍රීය තේමාව වන්නේ දහසයවන සියවසේ මුණ්ඩුකොණ්ඩපොළ ප්‍රාදේශීය රාජධානි සමයේ, ශ්‍රී ලංකාවේ සත් කෝරළයට (කුරුණෑගල දිස්ත්‍රික්කයට) සංක්‍රමණය වූ දකුණු ඉන්දීය ප්‍රභූ බ්‍රාහ්මණ කණ්ඩායම් හතක් පිළිබඳව විමර්ශනය කිරීම ය. මධ්‍යකාලීන යුගයේ සිට වර්තමානය දක්වා මෙම බ්‍රාහ්මණ කණ්ඩායම්වල අනුවර්තනය ඔවුන් පදිංචි වූ සත් කෝරළේ කම්ඹුවටවන ගම්මානය සහ අනෙකුත් සියලුම බ්‍රාහ්මණ ගම්මාන ඇසුරෙන් අනාවරණය කෙරේ. මෙම විග්‍රහය සඳහා ජනවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලබා ගෙන ඇත්තේ ඓතිහාසික පුස්කොළ පොත්, සමාජ විද්‍යාත්මක වාර්තා සහ මෑත කාලීන පෙළපත් වාර්තා මගිනි. මෙම දකුණු ඉන්දියානු බ්‍රාහ්මී සංක්‍රමණිකයෝ හින්දු භක්තිකයන් වූ අතර ඔවුහු ද්‍රවිඩ භාෂා කථා කරන්නෝ ද වූහ. ඔවුහු අවසානයේ දී සත් කෝරළේ සහ කන්ද උඩරට ප්‍රදේශවල සිංහල බෞද්ධ සමාජයට ප්‍රබල ලෙස අන්තර්ග්‍රහණය වූ හ. මධ්‍ය කාලීන යුගයේ සිට දිවයිනේ වෙනත් ප්‍රදේශවල පදිංචි වූ සහ දේශීය ශ්‍රී ලාංකේය සිංහල සමාජයෙහි සංස්ථාපිත වූ අනෙකුත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සංක්‍රමණිකයින් පිළිබඳව ද කෙටි සටහනක් ද මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. සියවස් කිහිපයකට අනතුරු ව ඔවුන්ගේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ සහ හින්දු සමාරම්භය පිළිබඳ හෝඩුවා මෙම බ්‍රාහ්මී සංක්‍රමණිකයන් ඇතුළු සියලුම සංක්‍රමණික කණ්ඩායම්වල වර්තමානයේ පැවත එන්නන්ගේ මතකයෙන් සම්පූර්ණයෙන් තුරන් වී ඇත. මෙම අනුවර්තන සංසිද්ධිය වර්තමාන ශ්‍රී ලාංකේය ජන වාර්ගික සහ ආගමික විඥානය පිළිබඳ නව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය මාවතක් හෙළිදරවු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
පටුන
  ස්තුතිය  
1 හැඳින්වීම 1
2 බ්‍රාහ්මණ කණ්ඩායම් හත සම්බන්ධ පුස්කොළ පොත් වාර්තා සත්‍යාපනය කිරීම 13
3 බ්‍රාහ්මි කණ්ඩායම්වල අනන්‍යතාව  සහ මුල්බිම 25
4 බ්‍රාහ්මි කණ්ඩායම් ලංකාවට සංක්‍රමණය වීමට හේතු 33
5 බ්‍රාහ්මින්ගේ පදිංචිය පුස්කොළපොත් ඇසුරෙන් 39
6 මුණ්ඩුකොණ්ඩපොළ ප්‍රාදේශීය රාජධානිය 51
7 ඉන්දියානු සංක්‍රමණයේ ඓතිහාසික රටාව 63
8 ඉන්දියාණු බ්‍රාහ්මණයින්ගේ ශ්‍රී ලාංකික  ඉරණම 75
9 දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් සහ වන්නිවරුන් 85
10 මහනුවර යුගයේ ඇති වූ සංක්‍රමණ රටා 95
11 මෑත අතීතයේ දකුණු ඉන්දියානු සංක්‍රමණිකයින් 101
12 සත් කෝරළේ සමකාලීන සංක්‍රමණිකයන් 109
13 බ්‍රාහ්මණ පවුල් කණ්ඩායම් හතේ ව්‍යාප්තිය 129
14 බ්‍රතාන්‍ය සමයේ බ්‍රාහ්මණ පවුල් හතේ ව්‍යාප්තිය 151
15 හින්දු බ්‍රාහ්මීන් බෞද්ධ ශාසනයේ නායකත්වයට ප්‍රවේශ වීම 165
16 නූතන යුගයේ බ්‍රාහ්මණ ගම්මානවල පරිවර්තනය 175
17 කම්ඹුවටවන ගම්මානය පිළිබඳ ගැඹුරු අධ්‍යයනය 183
18 කම්ඹුවටවන: නාම සම්මුති සහ ඥාති සබඳතා 189
19 කම්ඹුවටවන මෑත පෙළපත් වාර්තා 197
20 සමාප්ති සටහන් 211
  උප ග්‍රන්ථ  
1 සත් කෝරළේ  දිසාව පදවි 231
2 1818 කැරැල්ල: සත් කෝරළේ බ්‍රාහ්මණ නායකයින් 235
3 රටේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාපිත වූ කම්ඹුවටවන පරම්පරා 241
4 එරියාව සන්නස 245
5 මඩගල්ල සන්නස 246
6 ග්‍රන්ථ සහ අනෙකුත් මූලාශ්‍රය නාමාවලිය 247
7 කර්තෘ පිළිබඳ 251

පාඨකයින් කියන්නේ කුමක්ද?

“මෙම අධ්‍යයනයේ මානව විද්‍යාත්මක තොරතුරු සාක්ෂ්‍ය සපයන්නේ වර්තමාන ශ්‍රී ලාංකික ජනවාර්ගික බෙදීමේ පදනම මුළුමනින් ම රුධිර රේඛාවකින් හෝ ජීව විද්‍යාත්මකව තීරණය වූ දෙයක් නොවන අතර එය වඩාත් ම දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් මගින් තීරණය කර ඇති දෙයක් වන බව යි.”
“දහසයවන සියවසේ සත් කෝරළයේ පදිංචි වූ දකුණු ඉන්දීය බ්‍රාහ්මණයන්ට ස්වදේශිකයන් සමඟ අවශෝෂණය වීමට උපකාර වන වාසිදායක දෘෂ්ටිවාදාත්මක, සමාජවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක පසුබිමක් උරුම වු බව මෙම කෘතියෙන් හෙලි වෙි.”
“මෙම කෘතිය පාඨකයන්ගේ කුතූහලය අවදි කිරීමට සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක තොරතුරුවලින් ගහන වූ එකකි.”
කර්තෘ පිළිබඳ
බණ්ඩාර බණ්ඩාරනායක, ඔහුගේ අධ්‍යාපනවේ දි ගෞරව (B.Ed. Hons) උපාධිය සහ ශාස්ත්‍රපති (MPhil) උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ආචාර්ය උපාධිය (PhD) මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ද සම්පූර්ණ කළේ ය. පළමු උපාධියෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බැඳී ගුරුවරයකු ලෙස ද පසුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී වරයකු ලෙස ද සේවය කළේය. ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ කෙටි කාලීන සේවා කාලයකින් පසු ඔහු රාජ්‍ය පරිපාලන සේවයට බැඳුණේ ය. ඔහු දශක තුනකට ආසන්න කාලයක් නවසීලන්තයේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවෙි ද, ඕස්ටේලියාවෙි නවෝත්පාදන, කර්මාන්ත හා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ඕස්ටේලියාවේි අධ්‍යාපන හා පුහුණු කටයුතු දෙපාර්තමේන්තුවේ ද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි තනතුරු කිහිපයක් දැරී ය. ඔහුගේ පර්යේෂණ විශේෂඥතාව වන්නේ අධ්‍යාපන පරිපාලනය, රාජ්‍ය අංශයේ ආචාර ධර්ම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණ, සංස්කෘතික මානව විද්‍යාව, සහ පරිණාමීය මනෝ විද්‍යාව ය. ඔහු පොත් කිහිපයක් සහ සඟරා ලිපි ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ. වර්තමානයේ ඔහු මෙල්බන් නුවර ස්වාධීන පර්යේෂණ හා උපදේශන සේවා කටයුතුවල නිරත වී සිටියි.
ඔහු bandaranayakeb@gmail.com මගින් සම්බන්ධ කර ගත හැකි ය.

What Our Clients Say

Design & Developed by alpha business designs